නොකර බැරිකොට

  01 පෙබරවාරි 2013

ඒ වගේම ගිහි පරිසරයක සිටින උපාසකයෙක් උපාසිකාවක් හැටියට ඔබට හිතෙනවා නම් අනේ මේ කථාවන්ගෙන් අපි කොහොමද මිදෙන්නේ කියලා සිහිය නුවණ වීර්ය යොදාගත යුතු වෙන්නේ මේ අවස්ථාවලටයි.  ඇත්ත... ගිහි පරිසරයක ඉන්නකොට රැකියාවක් කරන කොට මේ කථාවන් කරන්නට සිද්ධ වෙන වාර අනන්තයි.  මේවා බුදුහිමියන් එපා කිව්වනේ කියලා කියන්න ගියොත් අනුවණයින් අතින් අපහාසයන්ට පත්වෙන්නට සිද්ධ වෙන්නේත් ඔබටමයි.  ඒ අය එතැනින් නොනැවතී බුදු හිමියන්ටත් ධර්මයටත් අපහාස කරන්නට පටන්ගනීවි.  ඒ වගේම බුදු හිමියන් ඕවා කියලා නෑ එහෙනම් බුදු හිමියන් දස රාජ ධර්ම එහෙම පෙන්නලා තියෙන්නේ කියලා තර්ක කරාවි.  ඉතින් මම කලිනුත් කිව්වනේ මේ බුදු හිමියන් පෙන්වා දුන්නේ තවමත් අරිහත්වයට නොපත් සසර අනාථභාවයෙන් නොමිදුනු නිවීම කැමැති බුද්ධිමත් අයටම පමණයි. 

අරිහත්වයට පත් උත්තමයෙක් හෝ වේවා සම්මා සම්බුදු පියාණන්වහන්සේ කෙනෙක් හෝ වේවා ලෝක අනුකම්පාවෙන් මේ මාතෘකා සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක කථා කලත් උන්වහන්සේලාට එයින් සිද්ධ වන හානියක් නෑ.  ඒ උන්වහන්සේලා රාගය ද්වේශය මෝහය සහමුලින්ම ක්ෂය කර දමා ඇති උත්තමයන් නිසාවෙන්.  ඒත් අපි තවමත් ඒ තැන නෑනේ.  අපිට මේ කථා තුලින් රාගයක් නැගෙන්නට, ද්වේශයක් නැගෙන්නට තියෙන අවස්ථාව බොහෝම වැඩියි.  ඒ නිසාම අප ප්‍රවේශම් විය යුතු වෙනවා.  සංවරත්වය වැදගත් වෙන්නේ මේ නිසාමයි.  ඉතින් ගිහි පරිසරයක මේ කථාවන් කරන්නට සිද්ධ වෙනවා නම් තමන් කියන කරන කථාව සම්බන්ධයෙන් සිහියෙන් සිටින්න. 

අන්තගාමී නොවී හැකිතරම් ඉක්මනින් කථාව අවසන් වන ආකාරයට කථාව කරන්නට දක්ෂභාවයක් ගොඩනගාගන්න.  අවස්ථාවක් ලැබුණු ගමන් එවන් වූ කථාවන් මග හැර සිදුකල යුතු කථාවක් කරන්නට හෝ වේවා එසේ කරන්නට නොහැකි අවස්ථාවක් නම් නිහඩබවම රැකගෙන කටයුතු කරන්නට තරම් දක්ෂභාවයක් ඇතිකරගන්න.  ඒ වගේම මේ කථාවන් සිදුකරන්නට සිද්ධ වෙනවිට තමන් තුලටම එබීගෙන සිටිමින් "මම මේ තුලින් දූෂ්‍ය වෙනවද? ඇලීමක් ගැටීමක් කම්පාවක් එනවද මම මේ කරන්නේ නිවනක් ලැබෙන දෙයක් නම් නෙවේ...මේ පුද්ගලයාත් මාත් සසර දුකෙන් ඉක්මනින්ම මිදේවා... ප්‍රඥාව පහල වේවා... " ආදී තමන්ට කැමති කැමැති ආකාරයෙන් මේ කථාවන් නිසා ඇතිවිය හැකි ඇලීම ගැටීම නතර කරගැනීම කටයුතු කල යුතු වෙනවා.  නැතිනම් අනාථයි.  අනාථ වුණාම ගොඩ ඒමක් නෑනේ.  ඒ නිසා සිහිය වැදගත් වෙනවා.  කියන කථාව කෙරෙහි සිහියෙන් සිටිමින් තමන්ව ආරක්ෂා කරගන්න.