ප්‍රලාඵයෙන් මිදීම

  01 පෙබරවාරි 2013

ඉතින් හිතලා බලන්න මේ මාතෘකා ටික සම්බන්ධයෙන් කථාව නැති වුනොත් අපගේ ජීවිත වලින් ප්‍රලාඵ කියන දස අකුසලය ඉවත් වෙන්නේ නැත්ද?  ඒ විතරක් නෙවේ නිතර නිතර මිනිසුන් ඇසුරු කරමින් අනවශ්‍ය ලෙසින් මේ මේ මාතෘකා සම්බන්ධයෙන් කරන කථාවන් තුලින් ඇතිවන බොහෝ කරදර ගැටුම් රැසක්ම නැතිවෙනවා. 

ඉතින් භික්ෂූන්වහන්සේ කෙනෙක් හෝ භික්ෂූණීන්වහන්සේ කෙනෙක් නම් කව්රුන් හෝ වේවා තමන් සමග මේ කථාවන් කරන්නට පටන්ගන්නවා නම් තමන්ගේ යහපත පිණිසත් ඒ අනෙක් පාර්ශවයේ යහපත පිණිස මේ කථාවන් නොකල යුතුයි මේවාට කැමැත්තක් නෑ කියලා කරුණාවෙන් පෙන්වන්නට තරම් ධෛර්යක් තමන් තුල ඇතිකරගත යුතු වෙනවා.  අකමැත්ත පෙන්වන විටත් දිගින් දිගටම මේ කථාවන්ට එනවා නම් මග හැරලා යන්නට තරම් සූක්ෂම විය යුතු වෙනවා.  ඇයි ඒ?  අපිට ලැබී තියෙන මේ අතිදුර්ලභ අවස්ථාව මේ වගේ කථාවන් ඔස්සේ කාලය නාස්ති කරගන්නට යෙදෙව්වොත් විනාශ වෙන්නේ දුකට පත්වෙන්නේ අපිම තමයි. 

ඉතින් අරිහත්වයට නොපත්, මාර්ගඵලාදිය නොලත් මහා නායක හිමිවරුන් කිව්වත් තමන් වහන්සේලාගේ ගුරු හිමිවරුන් කිව්වත් නිර්වාණය පිණිස උත්සාහ කරන නිවීම කැමැති භික්ෂූන්වහන්සේ කෙනෙක් හෝ භික්ෂූණීන්වහන්සේ කෙනෙක් වශයෙන් බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්න අවවාද අනුශාසනාම හිස් මුදුනේ තබාගෙන "බෑ මට සමාවෙන්න මේ දේවල් කරන්න කියන්න මට බෑ... මම කැමති නෑ බුද්ධ අවවාදයට ඉහලින් යන්න" කියලා කියන්නට තරම් එඩිතර බවක් දිරියක් හිතට ගත යුතු වෙනවා.  ඔබවහන්සේලා ඒ තුලින් කරන්නේ වරදක් නෙවේ රාගක්ෂය පිණිස, ද්වේශක්ෂය, මෝහක්ෂය පිණිස සටන් කරන්නා තමයි සැබෑම වීරයා වෙන්නේ. 

ඒ සටන ජයගන්නා පුද්ගලයාට සමකල හැකි වීරයෙක් තවත් නැති තරම්.  පොර කන බව, තර්ක වාද කරන බව, රාගයෙන් දැවෙන බව, ද්වේශයෙන් මෝහයෙන් දැවෙන බව, එකිනෙකා පරයා යන්නට හදන බව, තිරිසන්, ප්‍රේත, අසුර, නිරය ආදී පහත් වූ දුගතිගාමී සත්වයින්ටත් පොදු වූ කරුණක්.  ඉතින් ලැබී ඇති දුර්ලභ මනුෂ්‍යත්වය ඒ වැඩපිලිවෙලේම නිරත කරනවා නම් එය වීරත්වයක් නෙවේ අවිද්‍යාවේ උපරිම අවස්ථාවන් බව සිහිතබාගෙන තමන්වහන්සේලාව බේරාගෙන වහ වහා අප්‍රමාදී වීමට සිහිය නුවණ වීර්ය වඩාගෙන කටයුතු කල යුතු වෙනවා.