මිදෙන කථා

  01 පෙබරවාරි 2013

අසංසග්ග කථා කියන්නේ නොඇලීම පිළිබද එකතු නොවීම පිළිබදව කථාවයි.  නොඇලීමේ ගුණය, මනසින් එකලාව හුදකලාව විසීමේ ගුණය පංච කාම ආශ්වාදයන් සමග එකතු නොවීමේ ගුණය ගැන කරන කථාව සම්බන්ධවයි මේ පෙන්වන්නේ.  ඉතින් මේ වගේ කථා ඇසුරු කරන විට තමන්ටත් එහි වටිනාකම හොදින්ම දැනෙන්නට ගන්නවානේ.  ඒ නිසා ඇසුරු කර සැනසීම ලබන්නට අප්‍රමාදීභාවයක් ඇතිවෙනවා.

ඒ නිසාම වීර්ය වැඩිය යුතුයි, දැන් ප්‍රමාද වුණා ඇති මෙසේ මෙසේ කටයුතු සිද්ධ කරගත යුතුයි මෙසේ මෙසේ කළණ මිතුරු ඇසුර ලැබිය යුතුයි, මෙසේ මෙසේ සිත රැකගත යුතුයි කියලා වීර්ය ආරම්භය පිණිස විරියාරම්භ කථාවන් කරන්නට හැකියාවක් ලැබෙනවා. 

ඉන්පසුව මේ දේවල් තුලින්ම තමන් තුල සීල ගුණය ක්‍රමයෙන් ඇතිවන විට ඒ ගැන කථා කරන්නට හැකිවෙනවා.  සීල කථා තුලින් තව තවත් සීල ගුණය වර්ධනය කරගන්නට එය පවත්වාගන්නට අවශ්‍ය කරනදෑ සපුරාගන්නට කථාව යෙදෙනවා. 

මේ කථාවන් කරමින් ප්‍රායෝගිකව යෙදෙන්නාට සමාධිය නැගීම අහන්නත් දෙයක්ද... ඉන්පසුව සමාධි කථාවට මාර්ගය පෑදෙනවා... කළණ මිතුරු ඇසුර තව තවත් ලබමින් බුදු පියාණන්වහන්සේ විසින් පෙන්වා දුන්න ආර්ය සමාධීන් ලබන්නට සිත නැඹුරු වෙනවා.  ඒ ගැන කථා කරනවා ඒවා ක්‍රියාත්මක කරනවා. 

මේ සෑම දේම තුලින් නැගෙන්නේ ප්‍රඥාවමයි.  ඒ ප්‍රඥාව තව තවත් ප්‍රගුණ වීම පිණිස විදර්ශනා ඥානයන් වැඩීම පිණිස හේතු වන පඤ්ඤා කථා කල යුතු බව පෙන්වා දෙනවා.  මේ සියල්ලෙහිම ප්‍රතිඵලය තමයි විමුත්ති කථා සහ විමුත්ති ඤාණ දස්සන කථා කරන්නට තරම් උත්තරීතරත්වයට තමන් පත්වීම.  අරිහත්වයට පත්වූ පසු මේ මේ විමුත්ති කථාවන් කරන්නට විමුත්ති ඥාන දස්සන කථාවන් කරන්නට අර්ථවත්ව හැකියාවක් ලැබෙනවා.  එතෙක් තම තමන් ලද පමණින් විමුත්ති කථා කරන්නට හැකියාවක් ප්‍රඥාවන්ත ශ්‍රාවකයාට ලැබෙනවා. 

ඉතින් බලන්න මේ කථා වල පටන්ගැන්මේ පටන්ගෙන අවසානය දක්වා වූ පිලිවෙලම ඇති ක්‍රියාවේ යොදවා නිවී සැනසීම ලබන්නට.  කැමැත්ත ආශාව අඩුකරගෙන, ලද දෙයින් සතුටු වෙමින් තෙරුවනේ ගුණ තුලින් සතුටු වෙමින්, විවේකය අගයමින් විවේකයට පත්වෙමින්, නොඇලීම වැඩිකරගනිමින්, ඒ වෙනුවෙන් වීර්ය කරමින් නොඇලීමට පත්වෙමින්, සීලය තමන් තුල වර්ධනය කරගනිමින්, සමාධිය හෙවත් සිතේ එකඟබව මනාව වර්ධනය කරගනිමින් ප්‍රඥාව පූර්ණයට පත්වෙන්නට මේ අකාරයෙන් පසුතලය සකස් කරමින්, කෙලෙසුන්ගෙන් මිදීම ගැන කථා කරමින් ඒ මිදීමට පත්වෙමින්, ප්‍රත්‍යවේක්ෂා ආදී ඥානයන් පිළිබදව විමර්ශනය කරමින් ඒ ඒ ඥානයන් ප්‍රගුණ කරන්නා විමුත්තිය ලබනවා.  විමුත්ති ඥාන දර්ශනයත් ලබනවා.  එය සාත්තුව හරියට කිරීම තුලින් ලැබූ මල් ඵලමයි.  ඉතින් කරන්නට තියෙන්නේ ක්‍රියාවට නංවමින් තමන්ගේ යහපත පිණිස අප්‍රමාදී භාවය ඇතිකරගැනීමමයි.