දේශපාලන කථා

  01 පෙබරවාරි 2013

ඉතින් අපි මේ කථාවන් පිළිබදවත් ඇයි මේවා නොකල යුත්තේත් කියලා විමසා බලමු.

රාජ කථා -  රජ්ජුරුවන් ගැන කරන කථාවන් කියලා කිවූ විට අද කාලයේ නම් ජනාධිපතිවරුන් අගමැතිවරුන් කියන රටේ මුල් පාලකයා සම්බන්ධව කරන කථාවත් මේ කියන කොටසට අයත් වෙනවා. ඒ වගේම මහාමාත්‍ය කථා හෙවත් මහ මැති ඇමතිවරුන් ගැන කරන කථාවන් කුමන කාලයටත් පොදුයි.  පොදුවේ අපි මේ දේවල් දේශපාලන කථා කියලා දාමුකෝ.  ඇයි ඒ ? එහෙම කරන්නේ මේ පිරිස අයිති වන්නේ දේශයක් පාලනය කරන පිරිසට වන නිසයි.  ඒ නිසානේ කොයි කාලෙත් මේ අයට දේශය පාලනය කරන අදහසින් දේශපාලකයා කියලා කියන්නේ.  එහෙනම් මේ අය ගැන කරන කථාවන් අයිති  වෙන්නේ දේශපාලනය කියන මාතෘකාවටයි. 

ඒ වගේමයි සොරුන් ගැන කරන කථා... මේ කාලේ නම් මෙය දේශපාලනයටම සම්බන්ධ කරලා බොහෝ කථාවන් කරනවා.  අන්න අතන මෙහෙම සොරකමක් වෙලා... මෙන්න මේ දේ මෙසේ සොරකම් වෙලා, මෙන්න මෙයා තමයි සොරා, මේ සොර නායකයා... ඉවරයක් නෑනේ මේ මාතෘකාව පටන්ගත්තාම නේද? 

එතකොට "සෙනා කථා" හෙවත්  සේනාවන් ගැන කරන කථාවන් කරනවාද නැත්ද?  නොයෙක් ආකාරයෙන් විවිධාකාර යුද්ධයන් කරන්නට තමයි නොයෙක් ආකාරයේ සේනාවන් රැස් වෙන්නේ.  එහෙනම් සේනා කථා සම්බන්ධ යම් තැනකද එතැන "යුද්ධ කථා" හෙවත් යුද්ධයන් ගැන කරන කථාවනුත් සම්බන්ධ වෙනවා.  එහෙම නේද?  ඉතින් මේ සේනාවන් හදාගෙන යුද්ධ කරන්නට හේතුවෙන්නේ නොයෙක් ආකාරයෙන් භියවීම් ඇතිකරගත්ත නිසාවෙන් වෙන්නටත් පුළුවන්.  ඒ නිසාම මේ දේවල් වලට සම්බන්ධ වෙලා "භය කථා" නොහොත් බියවීම් ගැන කරන කථාවන් එකතුවෙන්නටත් ඉඩ බොහෝම වැඩියි.

උදාහරණයක් විදියට ටිකක් හිතලා බලන්න ලෝකයේ කොයි කාලයේත් පොදු ජාති, කුල මල ආගම් භේදයන් තියෙනවා.  මේ භේදයන්ට මුල් වෙන්නේ තමන්ගේ කොටස නැතිවේවි යන භිය නෙවේද?  මෙන්න මේ භිය ගැන නොයෙක් නොයෙක් ආකාරයෙන් අපි කථා කරන්නට යෙදෙනවාද නැත්ද?  ඉන්පසුව ඒ අනුව සේනාවන් රැස්කරගන්නවා මේ භිය නැතිකරගැනීම පිණිස භිය නැතිව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් හදාගන්නට ඕනෑය කියලා ඒ ඒ අදහස් ගැලපීම මත පිරිස රැස් වෙනවා.  සේනාවක් රැස්වුණාම ඊලඟ පියවර මොකක්ද?  යුද්ධය!  තමන්ගේ ගොඩ වැඩිකරගන්න තමන්ගේ භූමිය රැකගන්න, තමන්ගේ කොටස රැකගන්න මේ මේ සේනාවන් විසින් යුද්ධ කරනවා.  දැන් ඉතින් මේ සේනාවට ක්‍රියාවෙන් එකතු වෙන පිරිසක් ඉන්නවා.  ක්‍රියාවෙන් එකතු නොවී මේ පිරිසට වචනයෙන් උපකාර කරන පෙර අවස්ථාවේත් කිව්වා සේ වර්ණනා කරන, මේ දේ අනුමත කරන, මේ දේම තමයි විය යුත්තේ කියලා උදම් අනන තව තවත් රුකුල් දෙමින් මේ අය මහා විශේෂ සුවිශේෂ කටයුත්තක් කරනවාය කියලා ඉහලින් උසස් කොට තබන පිරිසක් ඉන්නවා. 

දැන් ඉතින් මේ විෂය සම්බන්ධව කෙටියෙන් කියනවා නම් රැකගැනීම / රැකගත යුතුයි කියන සංකල්පය රැගෙන ඒ මාතෘකාව රැගෙන රැකගැනීමට පොරකන සේනාව, ඒ පොරය හෙවත් යුද්ධය, නැතිවේවි කියන භිය යන මාතෘකා සම්බන්ධයෙන් කරන්නට යෙදෙන කථාවන් නිවීමක් කැමැත්තේ නම් කරන්නට එපාය කියලා මහා ප්‍රාඥයාණන්වහන්සේ විසින් පෙන්වා දෙනවා.  ඒවා තිරිසන්, තිරශ්චීන, දැවෙන්නට හේතුවන පහත් වූ කථාවන් ක්‍රියාවන් ලෙසින් තමයි නිවීමේ සත්ධර්මය පෙන්වා දුන්න මහා විද්‍යාඥයාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නේ.