නොයෙක් කථා

  01 පෙබරවාරි 2013

අන්න කථා - ආහාර ගැන කරන කථාවන්, පාන කථා -  පානයන් ගැන කරන කථාවන්, වස්ත්‍ර කථා - වස්ත්‍රයන් ගැන කරන කථාවන්, ශයන කථා - සයනය කරන ස්ථානය, නින්ද ආදිය ගැන කරන කථාවන්, මාලා කථා - මල් ගැන කථාවන්, ගන්ධ කථා - ගන්ධයන් ගැන කථාවන් මේ තියෙන්නේ එදිනෙදා කථා කරන තවත් වැඩකට නැති කථාවන් කීපයක්.  කෑමක් කෑවොත් බීමක් බිව්වොත් ඒක කනවාට වඩා ඒ ගැන කථා කරන්න තමයි අපි වැඩිපුර යොමුවෙන්නේ.  කෑමේ බීමේ රස, අලංකාරය, ගන්ධය, හදන තැන, හදන විදිය මේ වගේ කෙලවරක් නැති කථාවන් මේ මාතෘකාව සම්බන්ධයෙන් කථා කරන්නට පුළුවන්.  ඒ වගේම තමයි ඇදුම් ගැන... කාන්තාවන්ට නම් සුවිශේෂීයි ඒත් පිරිමි පාර්ශවයට කියලා ගැලවීමක් නම් නෑ.  තම තමන් ගැන යොමුවෙලා බලන එක තමයි හොදම දේ.  භික්ෂු භික්ෂූණී  දෙපිරිස නම් පිණ්ඩපාතය, දානය, ගිලන්පස වගේම සිවුරු ආදිය ගැන නොයෙක් නොයෙක් ආකාරයෙන් කරන කථා වෙන්නට පුළුවන්.  ඒ වගේමය තමයි සයනය හෙවත් නින්ද ගැන ගත්තොත් නිදාගන්නා වෙලාව නිදියන ආකාරය නිදියන තැන නිදියන ඇද ආදී දෑ ගැන කොතරම් නම් කථා කරනවද... මෙන්න මේ වගේ නොයෙක් මල් ගද විලවුන් ගැන මල් ගැන ගන්ධයන් ගැන ආදී කථා කෙලවරක් නෑ නේ නේද?  ඉතින් මේවා වැදගත් නොවෙන්නේ කථා කරන්නට සුදුසු නොවෙන්නේ ඇයි කියලා අවසානයේ සොයා බලමු.

ඥාති කථා - ඥාතීන් ගැන කරන කථාවන් තමයි අනෙක් එපාය කිව්ව කථාව.  ඥාතීන් ගැන ගත්තොත් නම් ඉතින් කෙලවරක් නැතිව අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි ආදී ලෙසින් යහපත් මෙන්ම අයහපත් දේත් කියවන එක තමයි කරන්නේ එහෙම නේද?  හොදින් වුවත් නරකින් වුවත් කථා කරන්නේ තවත් විදියකට කිව්වොත් ඕපා දූපයක්ම තමයි.  යාන කථා - යාන වාහන ගැන කරන කථාවන් නම් මේ කාලයේ බොහොමයි.  ඒ කාලේ වගේ නෙවේ මේ කාලේ විවිධ වර්ගයේ යාන වාහන තියෙනවානේ.  ඒ කාලේ අශ්ව කරත්තෙක රෝද 2ක් හරි 4ක් හරි ගැන කථා කලා නම් මේ කාලේ රෝද ගැනම විතරක් කථා කරන්න කොච්චර දේවල් තියෙනවද නේද?  ඇයි එක එක ආකාරයේ නිෂ්පාදන තියෙනවනේ. 

ඉතින් ග්‍රාමක කථා - ගම් ගැන කරන කථාවන්, නිගම කථා - නියම්ගම් ගැන කරන කථාවන්,  නගර කථා - නගරයන් ගැන කරන කථාවන්,  ජනපද කථා - දනවු පිළිබදව යම් යම් ප්‍රදේශ ගැන කරන කථාවන් ආදී කොළඹට කිරි ගමට කැකිරි කථාවන් එපා කියලා තමයි බුද්ධ අවවාදය.   ඒ වගේම තමයි ස්ත්‍රී කථා - කාන්තා පාර්ශවය පිළිබඳව කරන කථාවන්.  මෙය පුරුෂ පක්ෂයට පමණක් පොදුයි කියලා නොසිතිය යුතුයි.  ස්ත්‍රීන් ගැන ස්ත්‍රීන්ටත් බොහෝ දෑ කථා කරන්න තියෙනවානේ නේද?  අරයා මෙහෙමයි... මෙයා මෙහෙයි... කොච්චර දේවල් කථා කරනවාද මේ මාතෘකා සම්බන්ධව.  එහෙම නේද?

අරයාගේ මෙයාගේ මෙන්ම තමන්ගේ සූරකම් පිළිබඳව කරන කථාවන් වන සූර කථා එපා කියලා නුසුදුසුයි කියලා මහා ප්‍රාඥයාණන්වහන්සේ විසින් පෙන්වා දුන්නා.  ඒ වගේම "විසිඛා" කියන්නේ වීථි යන අදහසයි, ඒ අනුව වීථී ආදිය ගැන කරන කථාවන් එහෙවත් විසිකා කථාවන් එපාය කියලා බුදු හිමියන් පෙන්වා දුන්නා.  ඒ වගේම ලිඳ ලඟ සංගම් ගැන කියැවෙන කුම්භස්ථාන කථා - වතුර ගෙන යන තැන් ආදී ගැන කරන කථාවන් සුදුසු නෑ කියලාත් පෙන්වා දුන්නා.