සර්පයාගෙන් මිදීම

  01 පෙබරවාරි 2013

උදාහරණයකින් කියනවා නම් මේ වගේ අවස්ථාවට පත්වූ විට ඔබ හිතාගන්න ඔබව මහා විෂඝෝර සර්පයන් කීප දෙනෙක් වටකරගෙන ඉන්නවා කියලා.  එතකොට අපි මොකද කරන්නේ?  බොහෝම හොදින් සිහිය පවත්වාගන්නවානේ.  මොකද පොඩ්ඩක් හරි සිහිය නැතිවුනොත් අර සර්පයන් අපිව විනාශ කරනවා.  එහෙම නේද?  ඒ නිසා අපි කරන්නේ ඒ වගේ අවස්ථාවක හොද සිහියෙන් ඉදලා සර්පයා පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන් එතැනින් බේරී පැනගන්න එකයි.  මෙන්න මේ සිහියෙන් යුක්තව සිව්වනක් පිරිස වශයෙන් අන්තර්ජාලයත් අනෙකුත් සමාජීය කටයුතුත් ඇසුරු කරනවා නම් කල යුතු වෙනවා.  හැකිතාක් තමන් තුල නැමී සිටිමින් සිහිය පවත්වාගත්තේ නැතිනම් පියාගේ භූමියේ සිටියේ නැතිනම් අපිව මහා කරදරයකට පත්වෙනවා කියලා සිහි තබාගත යුතු වෙනවා.

ඉතින් දැන් නොකල යුතු කථාවන් කිව්වානේ.  එහෙනම් කල යුතු කථාව මොනවද?  රාගයක් ඇතිවෙන ද්වේශයක් ඇතිවෙන මෝහයම වැඩෙන කථාවන් එපා කියන්නේ අකුසලයෙන් බැහැර වන අකුසලය දුරුකරන වැඩපිලිවෙලයි.  එතකොට කුසලය වැඩෙන අතහැරීම ප්‍රගුණ වන රාගය ක්ෂය වන ද්වේශය ක්ෂය මෝහය ක්ෂය වන ප්‍රඥාව වැඩෙන කථාවන් කිරීම බොහෝම වාසියක් ලාභයක්ම ගෙන දෙනවා.  මොනවද මේ කියන කථා?

සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය - 6 < දසම නිපාතය < දුතිය පණ්ණාසකය < 2. යමක වග්ගය < 9. පඨම කථාවත්ථු  සූත්‍රය < පිටු අංක 230 - 233< (PDF පිටු අංක 257 - 260) 

එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...

අප්පිච්ඡ කථා, සන්තුට්ඨි කථා, පවිවෙක කථා, අසංසග්ග කථා, විරියාරම්භ කථා, සීල කථා, සමාධි කථා, පඤ්ඤා කථා, විමුත්ති කථා, විමුත්ති ඤාණ දස්සන කථා යන දස අකාරයක කථාවන් කරන්නට කියලා බුදු හිමියන් පෙන්වා දෙනවා.  ඇත්තටම මෙවැනි කථාවන් නිවන කැමත්තේ හට රැකගත යුතු වස්තුවක් වැනි නිසාම දස වස්තුක කථා කිව්වා වෙන්නටත් පුළුවන්.  ඉතින් මේ වස්තුවක් වගේ නෙවේද කියලා නුවණින් හිතලා බලන්නකෝ.