කථා 27ක්

  01 පෙබරවාරි 2013

හ්ම්! දැන් ඉතින් පෙනුමට නම් හරි වැඩක් තමයි වෙන්නේ.  මේ විදියට බැලුවොත් අපි බහුලව කරන කථාවන් බොහෝමයක් මේ කරන්න එපා කිව්ව දේවල්ම නෙවේද කියලා විමසා බලන්නට නම් සිද්ධ වේවි.  බුදු හිමියන් මේ කථා වර්ගයන් හෙවත් මේ මාතෘකා සැම "තිරශ්චීන" හෙවත් "තිරිසන්" කථාවන් ගොඩට තමයි දාන්නේ. ඇයි ඒ වගේ පහත් කලේ කියලාත් මේ කොටස තුලින් විමසා බලමු.  හේතු ඇතිව තෝරාගන්නා තරමටම අපට පහසුවෙයි මේ කථාවන්ගෙන් මිදීමටත් එහෙම නේද?

ඉතින් මුලින්ම මේ කථාවන් ටික මොනවද කියලා සරල භාෂාවෙන් තේරෙන සිංහලට තෝරගමුකෝ බලන්න.

01)  රාජ කථා -  රජ්ජුරුවන් ගැන කරන කථාවන්
02)  චොර කථා - සොරුන් ගැන කරන කථාවන්
03)  මහාමාත්‍ය කථා - මහ මැති ඇමතිවරුන් ගැන කරන කථාවන්
04)  සෙනා කථා - සේනාවන් ගැන කරන කථාවන්
05)  භය කථා - බියවීම් ගැන කරන කථාවන්
06)  යුද්ධ කථා - යුද්ධයන් ගැන කරන කථාවන්
07)  අන්න කථා - ආහාර ගැන කරන කථාවන්
08)  පාන කථා -  පානයන් ගැන කරන කථාවන්
09)  වස්ත්‍ර කථා - වස්ත්‍රයන් ගැන කරන කථාවන්
10)  ශයන කථා - සයනය කරන ස්ථානය, නින්ද ආදිය ගැන කරන කථාවන්
11)  මාලා කථා - මල් ගැන කථාවන්
12)  ගන්ධ කථා - ගන්ධයන් ගැන කථාවන්
13)  ඥාති කථා - ඥාතීන් ගැන කරන කථාවන්
14)  යාන කථා - යාන වාහන ගැන කරන කථාවන්
15)  ග්‍රාමක කථා - ගම් ගැන කරන කථාවන්
16)  නිගම කථා - නියම්ගම් ගැන කරන කථාවන්
17)  නගර කථා - නගරයන් ගැන කරන කථාවන්
18)  ජනපද කථා - දනවු පිළිබදව යම් යම් ප්‍රදේශ ගැන කරන කථාවන්
19)  ස්ත්‍රී කථා - කාන්තා පාර්ශවය පිළිබඳව කරන කථාවන්
20)  ශූර කථා - සූරකම් පිළිබඳව කරන කථාවන්
21)  විසිබා කථා - "විසිඛා" කියන්නේ වීථි යන අදහසයි ඒ අනුව වීථී ආදිය ගැන කරන කථාවන්
22)  කුම්භස්ථාන කථා - වතුර ගෙන යන තැන් ආදී ගැන කරන කථාවන්
23)  පූර්වප්‍රේත කථා - පෙර ප්‍රේතයන් වූවන් ගැන කරන කථාවන්
24)  නනාත්ව කථා - නොයෙක් නොයෙක් ආකාරයේ කථාවන්
25)  ලොකබ්‍යායිකාය කථා - ලෝකයේ අග මුල ගැන කරන කථාවන්
26)  සමුද්‍රාබ්‍යායිකාය කථා - සමුදුරේ අග මුල ගැන කරන කථාවන්
27)  ඉතිභවාභකථා - භවයෙන් භවය ආදී ගැන කරන කථාවන්

ඉතින් මේ විදියට නම් කථා කරන්න දෙයක් නෑ වගේනේ කියලා ඔබට හිතේවි.  නෑ කථා කල යුතු දේවල් තියෙනවා.  ඒවා මොනවද කියලත් සොයා බලමු.  ඊට කලින් මේ කථාවන් කරන්න සුදුසු නැත්තේ ඇයි, මේ කථාවන් අප කරනවා නම් ඒවට හේතුව මොකක්ද, මේ කථාවන් නතර කරගත යුත්තේ ඇයි ආදී කරුණු ගැන විමසීමක් කරලා බලමු.