කරමු කථා

  01 පෙබරවාරි 2013

අප්පිච්ඡ කථා කියන්නේ ආශාව කැමැත්ත අඩුවෙන කථාවන් ගැනයි.  තවත් විදියකට කියනවා නම් මේ කථාවන් තුලින් නැගී ඇති රාගයක් වේ නම් පංච කාම ආශ්වාදයන්ට කැමැත්තක් වේ නම් අඩු වීම පිණිස රුකුලක්ම ලැබෙනවා.  ඉතින් නිවීමක් කැමැත්තේ නම් කථා කල යුත්තේ අකුසලය දුරු වෙන කුසලය නැගෙන අතහැරීමම ප්‍රගුණ වන කථාවක්ම නිසාවෙන් අප්පිච්ච කථා හෙවත් ආශාවන් අඩුවෙන පැත්තට කරන කථා වැදගත් වෙනවා.  ඒවා කළණ මිතුරු මාර්ගයෙන් ඇසුරු කරමින් තමන්ට යහපත උදාකරගැනීම පිණිසම යොදාගත යුතු වෙනවා.

සන්තුට්ඨි කථා කියන්නේ ලද දෙයින් සතුටු වෙන ගුණ නැගෙන කථාවන් වගේම මේ ධර්ම මාර්ගය නිසාම සතුටට පත්විය හැකි කථාවන්, තෙරුවන් ගුණ තුලින් සතුටට පත්විය හැකි කථාවන්.  ඉතින් එවැනි කථාවන් තුලින් මේ තෙරුවන කෙරෙහි මේ ධර්මය කෙරෙහි තව තවත් පැහැදීම හටගන්නවා.  සතුටට පත්වන සිතට සමාධියත් නැගෙනවා.  ඒ නිසාම එවැනි වූ යහපත් කථාවන් සිදුකිරීම යහපතක්ම වෙනවා.  නිවීම කැමැත්තෝ සතුටුවිය යුත්තේ අර අපි මෙතෙක් වෙලා කථා කල බුදු හිමියන් පහත් කොට සැලකූ අරයාගේ මෙයාගේ ඕපා දූප කථා තුලින් නොවේ.  ඒවා තුලින් අධිකව සතුට ලබන්නේ පෘතග්ජනයෙක්මයි.  ඒවා තුලින් සතුටක් නොලැබුවත් ප්‍රලාඵ වශයෙන් ඒවා ඇසුරු කරමින් කාලය නාස්ති කරගන්නට නිවීමක් කැමැත්තෝ පවා සමහර විට කටයුතු කරනවා.  ඒ නොදැනුවත්කම නිසාමයි.  ඉතින් තමන් සැබෑවටම මෙතෙක් කාලයක් සිහිය මද කම නිසා හෝ වේවා මේවා ගැන එතරම් බරපතලව නොසිතුව නිසා හෝ වේවා එවැනි කථා තුලින් සතුටක් ලබමින් සිටියා නම් ඒවායෙන් වැලකෙන්නට අදිටන් කරගෙන කටයුතු කරන තරමින් තමන් කොතරම් නිවනට නැමී සිටිනවාද කියලා දැනගන්නටත් තමන්ටම හැකියාවක් ලැබේවි.

ඉතින් පවිවෙක කථා හෙවත් විවේකය අගයන කථාවන් කරන්නට කියනවා.  විවේකය කියන්නේ ධර්මය තුලින් ලබන්නා වූ මානසික විවේකයයි.  එය ධාන්‍යාදී ඵලයන් තුලින් හෝ වේවා අන් අයුරකින් ධර්ම සමාධියක් තුලින් හෝ වේවා වෙන්නට හැකියි.  එහෙම නැතිව විනෝද ගමනක්, විවේකී තැනකට ගොස් භෞතික ලබන්නා වූ විවේකයක් ගැන නෙවේ මේ කිව්වේ.  ඉතින් මේ දේවල් ගැන විමර්ශනය කරන්න.  බුදු හිමියන් කිවූ පමණින් හෝ වේවා මෙසේ මේ වෙබ් අඩවියක මම කියන නිසා හෝ නොවේ තමන්ගේ යහපත පිණිස නිවීම පිණිස ධර්මය ඇසුරු කරමින් මේ දේවල් ගැන සිතා බලන්න.  එවිට යහපතක්ම වෙනවා නියතයි.