උදාහරණයකින්

  01 පෙබරවාරි 2013

ඒ කියන්නේ උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ.  අපේ රටේ ඉතිහාසයට අදාල සිංහල මහා වංශය වගේ පොත පත තියෙන්නේ.  දැන් ඉතින් ඒවා සමහරක් ලියලා තියෙන්නේ   භික්ෂූන්වහන්සේලා විසිනුයි.  මොනවද මේ පත පොතෙහි සදහන් වෙන්නේ?  රජවරුන් ගැන, මැති ඇමතිවරුන් ගැන, සේනාවන් ගැන, යුද්ධයන් ගැන ආදී එකී නොකී මෙකී කථාවන් නෙවේද?  දැන් ඉතින් භික්ෂුවකට කරන්න එපාය කියලා සියලු දේ තතු සේ දත් බුදු හිමියන් පෙන්වා දුන්න දෙයක් නෙවේද මේ අප විසින් වර්ණනා කරන්නේ, අගය කරන්නේ, අනුමත කරන්නේ, එයමයි විය යුත්තේ කියලා තර්ක කරන්නේ?  හ්ම් එහෙනම් දැන් ඉතින් අවුලක් නේද?

දැන් බලමු බුදු හිමියන් ඇයි මේ ඉහත ආකාරයේ කථාවන් "තිරිසන් කථාය" කියලා බොහෝම පහත් කරලා සැලකුවේ කියලා.  ඒ තුලින්ම මේවා නොකල යුත්තේ ඇයි කියලාත් මතු කරගන්නට එවිට හැකිවේවි.  ටිකක් හිතලා බලන්න... නෑ ටිකක් නෙවේ බොහෝම ගැඹුරින් හිතලා බලන්න තමන් මේ ධර්මයක් ඇසුරු කරන්නේ ඇයි කියලා?  මම නම් ඇසුරු කරන්නේ සියලු දුක් කෙලවර කරගෙන සැබෑ සතුට හෙවත් නිර්වාණ ශාන්තිය උදාකරගැනීම පිණිසයි.  එහෙනම් මම කියන්න ඕන කරන්න ඕන සිතන්න ඕන මගේ අරමුණ උදෙසා උපකාර වෙන දේවල් පමණයි එහෙම නේද?

දැන් ඉතින් ඔබ විසින් තම තමන්ගෙන්ම අහලා බලන්න ඕන "මම මේ කථාව කරනවාද නැත්ද" කියලා.  ඔබට හොදින්ම පෙනේවි ඔබ විසින් භික්ෂුවක් වුවත්, භික්ෂුණියක් වුවත්, උපාසකයෙක් හෝ උපාසිකාවක් වුවත් අඩු වැඩි වශයෙන් මේ මේ මාතෘකාවට සම්බන්ධව නොයෙක් නොයෙක් ආකාරයෙන් කථා කරනවාද සිතනවාද කියලා.  මේ කථාවන්ගෙන් කුමක් වුවත් ආරම්භ වුවහොත් ටිකක් හිතලා බලන්න කොච්චර දුරදිග යන්න පුළුවන්ද කියලා...

එකිනෙකා ඇණකොටාගන්නා තරමටම මිනී මරාගන්නා තරමටම දුරදිග යන්නට පුළුවන් මාතෘකා රැසක් තමයි බුදු හිමියන් විසින් මේ පෙන්වා දී තිබෙන්නේ.  ඉතින් මේ කථා කරන්නට කරන්නට දැවීමක් මිස නිවීමක් ලැබෙන්නේ නෑනේ.  රාගය වැඩිවෙනවා, ද්වේශය වැඩිවෙනවා... මේ දෙකම වැඩෙන තැන මෝහයම වැඩෙනවා.  එතකොට කොයින්ද රාගක්ෂය ද්වේශක්ෂය මෝහක්ෂය වූ නිවීමක්?  එසේ නම් නිවීමක් කැමැති පුද්ගලයෙක් වශයෙන් මේ කථා නවතා දැමිය යුතු වෙනවා.  මේ වගේ කථාවන් බහුලව කරන පුද්ගලයන්ගෙන් වහ වහා ඈත්වෙන්නටත් කටයුතු කරන තරමටම යහපත උදාවේවි.  මේ කථාවන් තුලින් සිත දූෂ්‍ය වෙමින් තිරිසන් භවයක් ලබන්නට තරම් පහත් වෙන්නට අවස්ථාවක් තියෙනවාමයි.  ඒ නිසාම තමයි බුදු හිමියන් විසින් මේවා තිරශ්චාන හෙවත් තිරිසන් කථාවන් කියලා හදුන්වා දෙන්නට ඇත්තේ.