සිහියෙන් කථා

  01 පෙබරවාරි 2013

අවසාන වශයෙනුත් නැවත මතක් කරන්නේ අප යම් දෙයක් කථා කරන්න නම් ඒ ඒ මාතෘකා සම්බන්ධව සොයා බැලීම් කරනවා, ඒවා අත්දැකගන්නට නොයෙක් ආකාරයෙන් ක්‍රම භාවිතා කරනවා.  අපේ සිහිය, අපේ වීර්ය, අපේ සමාධිය, අපේ දැකීම යොමුවෙන්නේ ඒ දේ වෙනුවෙනුයි.  ඉතින් හිතන්න ඉහත කරන්නට එපාය කිව්ව කථාවන් වෙනුවෙන් දත්තයන් රැස්කරන්නට වීර්ය කරමින් සිහියෙන් ඉන්නකොට පත්වෙන්නේ ඒ ඒ සමයට ඇදී සිටීමම නෙවේද කියලා.  ඒවාම හොදයි කියන දැක්ම තුලින් අප අපව යොමු කරන්නේ නැවත නැවත ඒ ඒ දේ ඇසුරු කරමින් ඒවා කෙරෙහි සිහිය පවත්වමින් ඒවා කෙරෙහි වීර්ය වඩමින් කාලය ගත කරන්නටයි.  ඒ ඒ මාතෘකා සම්බන්ධව ඥානයක් ලැබේවි, ඒවා තුලින්ම විමුක්තියකුත් ලැබේවි.  මෙයම තමයි මිත්‍යා මාර්ගය.  මිත්‍යා දෘෂ්ඨියක් තුලින් මිත්‍යා විමුක්තියක් ලැබීම දක්වා වූ වැඩපිලිවෙලක් අප තුල ක්‍රියාත්මක වෙන්නට හේතු වන මූලික අවස්ථාවක් තමයි මේ මේ දේවල් ගැන කථා කරන්නට යොමුවීම.

උදාහරණයකින් නැවතත් කියනවා නම් දේශපාලනය ගැන කථා කරන්නට ඒවා කෙරෙහි නිතර සිහියෙන් ඉදිමින් වීර්යෙන් යුතුව ඒ ගැන දත්ත එකතු කරනවා, ඒ දේශපාලන මාතෘකා සමයටම ඇදී සිටිමින් සමාධියක් වඩනවා... ඒවා කෙරෙහි නැවත නැවත මෙනෙහි කරමින් ඒවා ගැන ඥානයක් ලබනවා... ඒවා තුලින් විවිධ අයුරින් ඥාන ලබමින් දේශපාලනය කියන මාතෘකාව සම්බන්ධයෙන් පරතෙරට ගියාය කියලා හිතන පුද්ගලයෙක් බවට තමන්ව පත්කරගන්නවා.  ඉන්පසුව කව්රු කිව්වත් මේ දේශපාලනය ගැන තමන්ට වඩා දන්න කෙනෙක් නෑ කියන තැනට තරම් අන්ධ වෙනවා.  කිසි කෙනෙක් කියන දේ අහන්නේ නෑ.  මන්ද තමන්ට ප්‍රත්‍යක්ෂයි තමන් මේ මාතෘකාව සම්බන්ධයෙන් දන්නවාය කියලා.  මෙන්න මේ ආකාරයට ඇලීමෙන් / රාගයෙන්, ගැටීමෙන් / ද්වේශයෙන් යුක්ත මුලා සහගත මිත්‍යා සහගත වැඩපිලිවෙලට දැන හෝ නොදැන පත්වෙනවා. 

ඉතින් හිතලා බලන්න ඉහත කරන්න එපාය කිව්ව කථාවන් තම තමන්ව මේ වගේ තැනකට ඇදලා දමන්නේ නැතිද කියලා.  මොහොතකින් පිළුණු වෙලා යන කෑම ටිකක් තුලින් කොතරම් අසහනයකට පත්වෙන්නට තමන්ට සිද්ධ වෙන අවස්ථාවල් තියෙනවද කියලා.  තම තම නැණ පමණින් සිතා බලා ඒ ඒ මාතෘකාවන්ගෙන් මිදෙන්නට භික්ෂුවක්, භික්ෂුණියක්, උපාසකයෙක්, උපාසිකාවක් වශයෙන් කටයුතු කරගත යුතු නොවේද කියලා විමසා බලන්න ඔබටම භාරයි.

ඒ වගේම යහපත් දෑ ගැනත් සිතා බලන්න.  අල්ප වූ ආශාවන් ගැන කථා කරන්න, නොඇලීම ගැන කථා කරන්න, නොඇලීමෙන් ලබන සැනසීම සතුට ගැන කථා කරන්න, මේ සතුට තුලින් නොඇලීම තුලින් මනස තුල ඇතිවන විවේකය ගැන කථා කරන්න, එකතු නොවීමේ ගුණය ගැන කථා කරන්න අප විසින් මේ දේවල් ගැන සොයා බලන්න සිහියෙන් යුතුව වීර්ය කල යුතු නොවේද කියලා.  තමන් අත්දකින තරමට තමන්ට මේ දේවල් ගැන කථා කරන්නටත් හැකියාවක් තියෙනවා.  ඒ වගේම යමෙක් සමග මේ දෑ කථා කරන්නේම තමන් තුල මේ දේවල් වඩාගැනීමට උපකාරයක් කරගැනීමේ අරමුණක් ඇතිවයි.  වීර්ය ආරම්භ කරමින් කටයුතු කරන පුද්ගලයා තුල සීලයත් ඒවා තුලින්ම මේ ගුණයන්ට ඇදී සිටින නැමී සිටින සමාධියක් සහිත මනසක් සහ ප්‍රඥාවකුත් පහල වෙනවා.  මේ දේවල්ම විමුක්තිය පිණිසත් ඒ තුලින් ලබන්නා වූ නොයෙක් ඥාන දර්ශනයටත් හේතු වෙනවා. 

ඉතින් හිතන්න... හොදින් හිතා බලා කියන්නට පෙර සිතා බලා තමන් කියන කරන කථාවන් කෙරෙහි බොහෝම සැලකිලිමත් වෙමින් තමාගේම ගැලවුම්කාරයා වීම පිණිස සංවරත්වය තමන් තුල ඇතිකරගන්නට බුද්ධිමත් සැබෑම මිනිසෙක් වශයෙන් කටයුතු කරගන්න.  ප්‍රඥාවන්ත ශ්‍රාවක පරපුර වූ සිව්වනක් පිරිසටම අප්‍රමාදී බව වැඩීම පිණිසම මෙය උපකාරයක්ම වේවා!