බණ ඇසීම නැවැත්වීම සුදුසුද?

  01 පෙබරවාරි 2013

විටෙක ඇත අන්තය... විටෙක නැත අන්තය... විටෙක හැම දේකින්ම මධ්‍යස්තව කරන මැද අන්තය කියමින් නොයෙක් ආකාරයේ විග්‍රහයන් ඇසෙනවා.  ඒත් බිය විය යුතුද?  කලකිරීමට පත්විය යුතුද?  විවිධාකාර දහම් ඇසෙනවා.  විවිධාකාරයේ ශෛලීන් තියෙනවා.  විවිධාකාර විදියට ත්‍රිපිටක ධර්මයට පවා අර්ථ කථන දෙනවා. 

ඒ විතරක් නෙවේ බොහෝ විට පැටලෙන්නේ ධර්මය විග්‍රහ කරන්න භාවිතා වන වචනම පදම තමයි ධර්ම ප්‍රතිරූපක තුලත් තියෙන්නේ.  ඉතින් පද වලට ගලපන්න ගියාම “අනේ මේ එකම දෙයක්නේ කියලා රැවටෙනවා...“ ඒත් ගැටලුව තියෙන්නේ එකම දෙයක් නෙවේ කියලා තියෙන්නේ.  ඒ ටික හසු කරගන්න නම් සූත්‍රයට ධර්මයට විනයට සසඳා බලන්නම සිද්ධ වෙනවා. 

මේ අවුල් අස්සේ ඉතින් බොහෝම කලකිරීමට පත්වෙලා නිවැරදි දහම සොයාගන්නට අපහසු නිසාම තීරණයක් ගන්නවා ඕන නෑ බණ අහන්න ත්‍රිපිටකය විතරක් බලනවා කියලා.  තනිවම දහම් තෝරාගෙන නිවන් දකින්නට තමයි මේ උත්සාහය. 

දැන් නැවත හිතන්න.  ප්‍රඥාවන්තව මේ තීරණයත් සූත්‍රයට, ධර්මයට, විනයට බහා බලන්න. 

තමන් දන්නා දෙයක් ගැන නම් අසා හෝ කියවා හෝ දැනගන්නට හැකියාවක් එයට අදාල දත්ත සමූහයක් තමන් තුල පවතිනවා.  ප්‍රශ්ණයේ තමන් දන්නා මට්ටමක් තියෙනවා.  ඒ ප්‍රශ්ණයට හේතුවත් තමන් දන්නා මට්ටමක් තියෙනවා.  ඒ පමණින් විසඳුමත් එය විසඳාගන්න ආකාරයත් තමන්ට වැටහෙනවා.  එහෙනම් මොකටද බුදු හිමියන්?  එහෙනම් මොකටද බුදු දහම?  ඔබේ ප්‍රශ්ණයේ ඔබ නොදකින ඔබට තනිවම හසුකරගන්නට නොහැකි පෙර නොඇසූ විරූ ආකාරයේ මුලක් තියෙනවා.  ඒ මුල දකින්නේ නැතිව මුල සිඳීම කරන්නට නොහැකියි.  අතු කඳ කපලා ගහ විනාශ කලාය කියලා සැනසෙනවා මිසක් මුල එහෙම්මමයි. 

අන්න ඒ නිසා තමයි බුදු දහම අවශ්‍ය වෙන්නේ.  ඒ නිසා තමයි තනිවම මේ දේ කරගන්නට නොහැකියි කියන්නේ.  තමන් නොදන්නා දෙයක්... නොවැටහෙන දෙයක්... පොතක පතක කියවා තනිවම හසුකරගන්නට හැකි වේවි යැයි සිතනවද?  පොත කියවන විට එයට අර්ථ කථන දෙන්නේ තමන් දන්නා තමන්ට වැටහෙන මට්ටමකින්ම මිසක් තමන්ට පෙර නොඇසූ විරූ අදහස් ලැබේද?  තනිවම ඒ පොතේ තමන්ට වැටහෙන දේ භාවනා කලාය කියලා නොදන්නා දෙයක් වැටහේවිද?  තමන් දන්නා විසඳුමක් කලින්ම තීරණය කරලා ඒ විසඳුම මෙසේ වේ යැයි සිතින් සිතාගෙන නොදන්නා විසඳුමකට මාර්ගයක් අනුගමනය කරනවා නොවේද?  ප්‍රඥාවන්තව විමසා බලන්න!