පැවැත්ම පිණිසද... නැවැත්ම පිණිසද?

  01 පෙබරවාරි 2013

තවත් මෙන්න මේ ආකාරයේ දහමක් ඇහෙනවා... “සියලු රූප අපට ප්‍රශ්ණයක්ද?  මේ ලෝකයේ සියලු ගස් අපට රාගයක් ඇති කරනවද?  ද්වේශයක් ඇති කරනවද? මෝහයක් ඇති කරනවාද?  නෑ... සියලු දෑ අපට ප්‍රශ්ණයක් නෑ... අපේ වෙච්ච ගස් තියෙනවා... අපේ වත්තේ තියෙන ගස් අපට රාගයක් ඇති කරලා තියෙනවා... ඒ ගස් අපට ඕනෑ ආකාරයෙන් නොපවතින විට ද්වේශයක් ඇතිවෙනවා... එහෙනම් එතැන මෝහය යෙදෙනවා... ඒ නිසා ඒ අපේ වෙච්ච ගස් අනිච්ච දුක්ඛ අනත්ත විදියට දැකිය යුතුයි.  කැඩිලා බිඳිලා විනාශ වෙලා යන අනිත්‍ය දෙයක් නෙවේද බලන්න. අපට කැමති සේ තියාගන්නට පුළුවන්ද බලන්න.  මේ විදියට ඒ අපේ කරගත්ත ගස් සමඟ රාගය ද්වේශය මෝහය නැති කරගන්න, සමථ විදර්ශනා භාවනා කරන්න... ලෝකයේ ප්‍රශ්ණයක් නෑ... ලෝකයේ දේවල් අපේ කරගන්න ගියාම තමයි ප්‍රශ්ණය තියෙන්නේ... ඒ නිසා ඒවා අපේ කරගන්නේ නැතිව ඉන්න පුළුවන් මට්ටම භාවනා කරන්න“

බැලූ බැල්මට නම් නියම දහමක් වගේ නේද?  සූත්‍රයට ගැලපෙනවද?  විනයට ගැලපෙනවද? ධර්මයට ගැලපෙනවද? 

නිවැරදි දහම් විග්‍රහයක් තුල තමන් දන්නා මට්ටමක්ම විග්‍රහ වෙලා නැවතිලා හරියනවද?  පෙර නොඇසූ විරූ දහමක් තියෙන්නට ඕන නැත්ද?  සියලු රූප ඉපදුණ ගමන් කුඩා දරුවාටත් ප්‍රශ්ණ වුනේ නෑ නේද?  ඒත් මතු රාග ද්වේශ මෝහ හටගන්නට හේතු ක්‍රියාත්මක වුණාද නැත්ද?  එහෙනම් ගෙදර වත්තේ නොවන ගස් දැනට ප්‍රශ්ණයක් නොවුනට මතු ප්‍රශ්ණ ඇතිකරවන්නට ප්‍රබල හේතු මේ මොහොතේ අප තුල ක්‍රියාත්මක වෙනවා.  මේ ජිවිතයේම අනාගත කලක හෝ වේවා මතු පැවැත්මක් තුල හෝ වේවා රාගයක් ද්වේශයක් මෝහයක් හටගන්නට හේතු ඒ දැනට අප උපෙක්ෂා සහගත වූ ගස් සමඟ බැඳී පවතිනවා. 

එහෙනම් මේ විග්‍රහය තුල අප නොදැන සිටි තනිවම හඳුනාගන්නට නොහැකි මට්ටමට ප්‍රශ්ණය විග්‍රහ වුණාද?  ඒ ප්‍රශ්ණයට හේතු සියුම් මට්ටමේ පටන්ගෙන විග්‍රහ වුණාද?  එහෙනම් විසඳුම නිසි සේ ලැබෙයිද?  එහෙනම් මාර්ගය නිවැරදිව විග්‍රහ වෙයිද?  රාග විනය, ද්වේශ විනය, මෝහ විනය සිද්ධ වෙනවද?  හේතු ඵල දහමට හෙවත් පටිච්ච සමුප්පාද දර්මයට ගැලපෙනවද?