බුදු හිමියන්ගේ දහම

  01 පෙබරවාරි 2013

බුදු හිමියන්ගේ දහම තුල අප දැනට දන්නා දේට වඩා යමක් අපට හමුවෙනවා.  ඒ නිසා තමයි ඒ දහම අවබෝධ කරගන්න මුල් අවස්ථාවේදී බොහෝ දෙනෙකුගේ මුවින් “ආශ්චර්යයි... අද්භූතයි... යටිකුරු වූ දේ උඩුකුරු කරන්නේ යම්සේද...  වැසුණු දෙයක් විවෘත කරන්නේ යම්සේද... මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේ යම් සේද... ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම්සේද... තමන් මේතාක් කාලයක් නොදැන සිටියාවූ හේතුවක්, ඵලයක්, විසඳුමක්, මාර්ගයක් විවර වෙනවා.  අන්න ඒ විවර වීම තමන් අහගන්නා දේශනාවකින් විය යුතුයි. 

ඒ වගේම නෙත්තිප්පකරණ අටුවාවෙහි  "සච්ච විනිම්මුත්තාහි භගවතො දෙශනා නත්ථී" ලෙසින් "භාග්‍යවතුන්වහන්සේගේ සත්ධර්ම දේශනාවන් මේ සතර සත්‍යයෙන් කිසිවිටකත් තොරවූවක් නොවේ" කියලා සටහනක් තිබෙන බව අතිපූජ්‍ය රේරුකාණේ හිමියන් විසින් බොහෝ පරීක්ෂණ කොට රචනා කරන ලද "චතුරාර්ය සත්‍ය" නම් ග්‍රන්ථයෙහි ප්‍රස්තාවනාවෙහි තිබෙනවා. 

එය එසේම විය යුතුයි එසේ විය යුත්තේ ඇයි කියලා දැන් ඔබට වැටහෙනවා ඇති.  සත්ධර්මය නම් මේ චතුරාර්ය සත්‍ය නම් සූත්‍රයෙන් තොර වූවක් විය නොහැකියි. ඒ නිසාම තමයි බුදු හිමියන් විසින් මෙන්න මේ සිද්ධාන්තය සැමවිටම ධර්මය තෝරාගැනීමට භාවිතා කල යුතුයි කියලා පෙන්වා දී තිබෙන්නේ.  මන්ද උන්වහන්සේට වඩා උන්වහන්සේගේ දේශනාව සහ උන්වහන්සේ අනුමත කරන දේශනාව අන් කවරෙක්වත් දන්නේ නෑනේ.  ඒ නිසා මහා ප්‍රාඥයානන්වහන්සේ විසින්ම අනුමත කරනවා මේ දේ තියෙනවද කියලා බලන්න ඒ දේ තියෙනවා නම් අනිවාර්යෙන්ම එය මාගේ දේශනාවක් ලෙසින් සතුටින් ඇසුරු කර යහපත සිද්ධ කරගන්න කියලා.

ඒත් එයත් උන්වහන්සේ කිවූ නිසා නොවේ දැන් අප මෙතෙක් වෙලා උදාහරණයක් ඔස්සේ කතා කලේම තමන්ගේ ප්‍රශ්ණය තමන් තුලින්ම හඳුනාගෙන මේ දහම මතු කරගන්න ආකාරය පිළිබඳවයි. 

එහෙනම් සූත්‍රය හා සසඳන්නට ප්‍රඥාවන්ත වන්න... බොහෝ අය විවිධාකාර දහම් කියන එක සාමාන්‍ය දෙයක්.  එහෙත් සූත්‍රය දන්නවා නම් ඒ කියන දහම් තුලින් බුදු දහම කුමක්ද... නිවෙන දහම කුමක්දැයි හඳුනාගන්නට හැකිවීම අපහසුවක් නොවේ.