පැවැත්ම පිණිස හේතු වෙන්නේ මොනවද?

  01 පෙබරවාරි 2013

කෙටියෙන් කිව්වොත් ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ ඇතිවන අංශු මාත්‍ර තරමේ හෝ රාගයක් වේ නම් යටපත් වෙලා හෝ පැවතුනොත් ඒ හේතුවෙන් පැවැත්මක් සකස් වෙනවා නේදැයි ප්‍රඥාවන්තව විමසා බලන්න! 

එහෙනම් අසාගෙන පුරුදු කරන ධර්මයකින් ඒ රාගය අංශු මාත්‍රයක්වත් නැතිව නැත්තටම නැති විය යුතුයි නේද?

ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු හමුවේ ද්වේශයක් ගැටීමක් ප්‍රතික්ෂේප කිරීමක් වශයෙන් රාගයට විරුද්ධ වූ අන්තය ඇතිවූ විට යටපත් වෙලා හෝ පැවතුනහොත් පැවැත්මක් පිණිස හේතු සකස් වෙනවා නොවේදැයි ප්‍රඥාවන්තව විමසා බලන්න! 

එහෙනම් අසාගෙන පුරුදු කරන ධර්මයකින් ඒ ද්වේශය අංශු මාත්‍රයක්වත් නැතිව නැත්තටම නැති විය යුතුයි නේද?

ඉපදුන ගමන් කුඩා දරුවෙකුට රාගයක්වත් ද්වේශයක්වත් නෑ.  අඩුම ගානේ ඒ දරුවාට “මම“ මෙහෙමයි “මම“ අරහෙමයි කියන “මම“ ගැන සංඥාවක්වත් තියෙන්න පුළුවන්ද?  හැබැයි ඒ දරුවා පැවැත්ම නැවැත්වූ අරිහතුන්වහන්සේ කෙනෙක්ද? නෑ නේද?  එහෙනම් එයින් අදහස් වෙන්නේ ඒ දරුවා ලඟ තවමත් පැවැත්මට හේතු තියෙනවා කියන එක නොවේද?  රාගයක් යටපත්වූ විට ද්වේශයක් යටපත්වූ විට සිතේ ඇතිවන ස්වභාවය තමයි උපේක්ෂාව. 

ඒත් ඇහැට රූප, කණට ශබ්ද, නාසයට ගන්ධ, දිවට රස, කයට ස්පර්ශ, මනට ධර්ම කියන මේ අරමුණු වල ඇත්ත නොදන්නා විට මේ උපෙක්ෂාව මෝහසහගතයි.  ඒ කියන්නේ පැවැත්මක් සකස් කරන්නට මතු මතු මේ අරමුණු හමුවේ රාගයක් ද්වේශයක් ඇතිවෙන්නට හේතු තියෙනවා.  පැවැත්මක් සකස් කරන්නට මතු හේතු තවමත් ඉතිරියි නම් මෝහය සම්පූර්ණයෙන් ක්ෂය වෙලාද?  නෑ නේද?  මුල එහෙමමයි.  මුලට හානියක් නොවන තාක් සරුවට වැඩෙන ගහක් විනාශ කරන්නට හැකිද?  රාග ද්වේශ අතු දමමින් මල් ඵල දෙමින් හොඳින් වැඩෙන ගහක මුල නැති නොකර අතු කැපුවාට ගහ මැරෙනවද?  එසේ නම් මුල නැසිය යුතුමයි නේද?

මෝහය යටපත්වී හඳුනාගන්නට නොහැකිව බොහෝ විට ඉතිරි වෙනවා.  එහෙම වුනොත් ඒ හේතුවෙන් පැවැත්මක් සකස් වෙනවා නේදැයි ප්‍රඥාවන්තව විමසා බලන්න! 

එහෙනම් අසාගෙන පුරුදු කරන ධර්මයකින් ඒ මෝහය / මුලාව අංශු මාත්‍රයක්වත් නැතිව නැත්තටම නැති විය යුතුයි නේද?