විසඳුම සහ විසඳුමට මඟ දැනගැනීම

  01 පෙබරවාරි 2013

ප්‍රශ්ණයේත් නොදුටු මට්ටම හසුවන විට... ප්‍රශ්ණයට හේතුවේත් නොදුටු මට්ටම හසුවන විට විසඳුම ප්‍රඥාවෙන් දකින එක ආයෙත් අහන්නත් දෙයක්ද?  එය විග්‍රහ කල යුතු දෙයක් නොවේ... එය ප්‍රඥාවෙන් අවබෝධ වෙන කොටසයි. 

විසඳුම ප්‍රඥාවෙන් අවබෝධ වන විට මාර්ගයත් බොහෝම පැහැදිලියි.  ඉතින් පෙන්වා දෙන කෙනා විසින් මාර්ගය පවසන විට තමන් ප්‍රඥාවෙන් හඳුනාගත්තාවූ විසඳුම ලබාගන්නට ඒ මාර්ගය නිසි සේ ගැලපෙනවාද නැත්ද යන්නත් තමන්ටම සොයාගන්නට හැකියි.  හදිසියේවත් දේශනා කරන්නාට මේ මඟ අපහැදිලි නම් නිසි සේ විග්‍රහ වන්නේ නැතිනම් එයත් හඳුනාගන්නට තරම් ඥානයක් ක්‍රියාත්මක වෙනවා. 

ඉතින් බුදු හිමියන්ගේ කාලයේදී බුදු හිමියන් පැවසුවේ තමන්වහන්සේ පවා පෙන්වා දෙන කරුණු මේ ආකාරයෙන් විමසන ලෙසටයි.  ඉතින් අන් අය ගැන කවර කතාද නේද? 

මේ සූත්‍රය අවබෝධ කරගත්ත තැන් පටන් ඔබට කුමන ධර්මයක් අසන්නට ලැබුණත් මේ කියන විදියට සූත්‍රයට බහා බැලීමක් හෙවත් ඒ සූත්‍රයට යොදා බලා ඒ ඒ දේ ගැලපෙනවාද කියලා විමසා බැලීමක් සිදු වෙනවා.

හරියටම පාසලේ ගණිතය ගුරුවරයා ඔබට ගාණ හදන්න සූත්‍රය කියලා දුන්නම ඒක තේරුම් ගන්න ඔබට ඒ සූත්‍රය යොදා ඕනෑම ගාණක් හදාගන්නට හැකියාවක් ලැබෙනවා වගේ තමයි. සූත්‍රය නොදැන ගාණ විතරක් හද හද ඉන්න ගියොත් ඔබට එකින් එකට ගුරුවරයාව සොයා යන්නට වෙනවා... ඒනිසා මුලින්ම ක්‍රමය දැනගත්තාම ඕනෑම ගැටලුවක් විසඳාගන්නට ඔබට හැකියාව ලැබෙනවා. 

මොකද එතකොට ඔබ ගැටලුව හදුනාගෙන ඒ ගැටලුවට හේතුව හදුනාගෙන ඒ හේතුව නැති කලොත් ගැටලුවට විසඳුම ලැබෙනවා කියලා දැනගෙන ඒ හේතුව නැති කරන්නට මාර්ගය පාදාගෙන අනුගමනය කරනවා. ඒ නිසාම මේ සූත්‍රය අවබෝධ කරගැනීම වැදගත් වෙනවා.