උපදේසය

  01 පෙබරවාරි 2013

කෙනෙක් කියනවා මේක තමයි දහම... මේක තමයි විනය... මේක තමයි බුද්ධ ශාසනය... මම බුදු හිමියන්ගෙන්මයි අහගත්තේ... මම අරිහතුන්වහන්සේලා ගෙනුයි අහගත්තේ... මම මඟ ඵල ලැබූවන්ගෙන්මයි අහගත්තේ... තවත් විදියකට කියනවා නම් මේ බුද්ධ ශාසනයේ සැබෑ දහම, විනය ලෙසින් තමන්ට වැටහෙන දේ  නන් අයුරින් කියන්නේ එය සැබෑ දහම කියලාමනේ නේද?  මේ නිර්වාණ ධර්ම වෙබ් අඩවියේ ඉතින් මාත් කියන්නේ නිතරම මේක තමයි පිරිසිදු පිවිතුරු බුදු දහම කියලා.  එහෙම කිව්වයි කියලා පිලිගෙන හරියනවද?  නෑ... ඒ වෙලාවට මෙන්න මේ විදියට මේ කියන ධර්මය තෝරාගත යුතුයි කියලා බුදු හිමියන් විසින් උපදේසයක් දී තිබෙනවා.  

සරලව කියනවා නම් භික්ෂූන්වහන්සේ කෙනෙක්ගෙන් හෝ වේවා භික්ෂුණියක්ගෙන් හෝ වේවා උපාසකයෙක්ගෙන් හෝ වේවා උපාසිකාවක්ගෙන් හෝ වේවා නිර්වාණ ධර්ම ආදී වෙබ් අඩවි වලින් හෝ වේවා... පොතක පතක හෝ වේවා... ත්‍රිපිටකයේ හෝ වේවා... තමන් අසන කියවන ඕනෑම ධර්මයක් ඇත්තටම මෙයමද මේ කියන නිවනට උපකාර වන නිවන ලැබෙන සැබෑ ධර්මය, සැබෑම විනය, සැබෑම ශාසනය කියලා තෝරාගන්නට උපකාර කරගත යුතු අනුගමනය කල යුතු පිලිපැදිය යුතු අවවාදයක් තමයි මේ බුදු හිමියන් පෙන්වා දුන්නේ.

සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 2 < චතුක්ඛ නිපාත < චතුත්ථ පණ්ණාසකය < 3. සංචේතනීය වග්ග < 10. මහාපදේස සූත්‍රය < ග්‍රන්ථයේ පිටුව 326  - 331 (PDF පිටුව)

ඉතින් මෙන්න මේ තමයි ධර්මය මේ තමයි විනය මේ තමයි ශාසනය කියලා කියනවා නම් අන්න ඒ කියන පදයන් හොදින් වටහාගෙන තෝරා බේරාගෙන සූත්‍රයට බහා බලන්නලු.  විනයට සසදා බලන්නලු.  සූත්‍රයට බහා හිටින්නේ නැතිනම් විනයට සැසදෙන්නේ නැතිනම් එය කියන කෙනා වරදවා ගත්ත අදහසක් මිස බුද්ධ දේශනාව නම් නෙවේය කියලා තෝරාගන්නලු.  එය ඉවත දමන්නලු.