අන්ධව දුටුවා සේ නොවේ

  18 නොවැම්බර් 2015

හැබැයි අන්ධයා කුණු රෙද්දකට, සුදු වර්ණයෙන් යුතු පිරිසිදු රෙද්දක් යැයි රැවටුණා සේ මතුපිට සරළ දහම් ඇති දහම් මාර්ගයකට පත්වෙන්නට නම් නෙවේ මේ ඔබට කියන්නේ. 

"ආ... අපි නම් ඉන්නේ නිවන් මඟේ... අපි නම් හරියට පින්කරනවා... අපි නම් හරියට බණ අහනවා... මම නම් වැඩිපුර ඉන්නේ පන්සලේ... මම නම් මොනවා තිබුණත් පෝයට සිල් ගන්නවා... මම නම් කොහොම හරි ඒ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙනවා... ඒ ආරණ්‍යය නම් නියමයි... අපෝ අර හාමුදුරුවෝ නම් මෙහෙමයි... ඒ තැන නම් අන්තිමයි... අයියෝ ඒ අය වඩන නිවන් මඟක් නෑ... අර හාමුදුරුවෝ මෙහෙම කරනවානේ... අපිට නම් සිවුරු විතරයි අඩු... ඔය හාමුදුරුවෝ සිවුරුට සුදුසු නෑ... ඔයිට වඩා හොඳට මම දර්මය දන්නවා... ආමිසයටමයි ඔය හාමුදුරුගොල්ලේ බර... ආ ඒ අය බණ කියන්නේ ලාභ, කීර්ති, ප්‍රශංසා වලටනේ... ඔය මොන බණද... ඕවත් බණද..." මේ ආදී වශයෙන් අනන්ත දුක් රැස ආරම්භ වේ!! කියලා තමයි ඉතින් එතකොට කියන්න වෙන්නේ...

ලෞකික ජීවිතයේ නොයෙක් නොයෙක් කටයුතු සාධාරණීකරණය කරගන්නට හේතු දක්වන ඔබ බොහෝ විට කථාවක් වුවත් පටන්ගන්නේ නම් නිවන අත ලඟ වගේ නේද?... එහෙත් අවසාන වෙන්නේ ශාසනයටම ගරහාමයි... ශාසනික වශයෙන් කැපවී සිටිනන් විවේඡනය කරලාමයි... එහෙමත් නැතිනම් ශාසනයෙන් තමන් බලාපොරොත්තු වූ දෙයක් ඉටු වුනේ නෑ කියලා ඒ පිලිබඳව ඇති කලකිරීමෙන් යුතුවමයි...

තවමත් ලෙඩ දුකක් ලැබෙන විට කම්පාවෙන ඔබ, අන්ත අසරණ වෙලා කායික නීරෝගීබවක් පතන ඔබ, ලෙඩ දුක් සුවකරනවා කීවොත් පමණක් බුදු හාමුදුරුවෝ හෝ සොයාගෙන දුවන්නාවූ ඔබට වැරදුණ තැන දැන්වත් දැනගන්න.  තවත් නම් අන්ධයෙක් වගේ හැසිරෙන්නේ නැතිව පිරිසිදු සුදු වර්ණය දැකගැනීම පිණිස ඇස පහල කරගන්නට නියම වෙදකම කරගන්නට උත්සාහවන්ත වන්න!

කායික රෝගයකට බෙහෙත් කරගන්න... එයට ධර්මයෙන් බාධාවක් නෑ.  එහෙත් ධර්මය තුලින්ම එහි සීමාව දැකගන්න... ඒ තාවකාලික වැඩපිලිවෙල අඩුකරගැනීම තුලින් ඉතිරිවන කාලයක් වේ නම්, අන්න ඒ කාලයත් ඒ සියලු රෝගයන්ගෙන් සඳහටම මිදෙන මාර්ගය උදෙසා යොදවන්න...

අන්න එවිට බුදු හිමියන් පෙන්වා දුන්නාවූ නීරෝගීකමේ පරම ලාභය, ඔබටම අත් දැකගන්නට හැකිවේවි!!!