දැන් ඔබට දොස් කියන්නට හිතේවිද?

  18 නොවැම්බර් 2015

"ආ මේක හරි වැඩක්නේ... අපි බෙහෙත් ගත්තාම මෙයාට තියෙන අමාරුව මොකක්ද?  එයා බේත් බොන්නේ නෑ වගේනේ හරියට අපිට බණ කියන්න එන්නේ..."

"එයාට ලෙඩ හැදිලා නැතිව ඇතිනේ ඒකනේ මේ විදියට කතා කරන්නේ... මට පිළිකාවක් තියෙනවා මේක ලියපු කෙනා දන්නවද ඒ දුක...  මට හෘද රොගයක් තියෙනවා... බයිපාස් කරගන්න තියෙනවා... දියවැඩියාව... ආතරයිටිස්... මගේ ලෙඩේ කොච්චර වේදනාවක් ගෙන දෙනවද කියලා මමනේ දන්නේ... ඒවා එයාට දැනෙනවා නම් ඔහොම කියන්නේ නෑ..."

"මෝඩයෙක් වගේ අනුන්ගේ ලෙඩ ගැන කියවනවා... එයා ලෙඩ වෙච්ච දවසට තේරෙයි ඔය බණ වලින් වැඩක් නෑ කියලා... බුද්ධ ධර්මයට පුළුවන්ද ඔච්චර දෙයක් කරන්න?"

"මම කොච්චර නම් කියලා බණ අහනවද... කෝ ඔය කියන සැනසීමක් මට නෑනේ... බොරු කතා... මම කොච්චර බෝධි පූජා තියනවද? පිරිත් කියනවද? දාන දෙනවද? ඔච්චර කරලවත් මේ ලෙඩේට විසඳුමක් නොැලැබුණ එකේ බුදු දහමෙන් මොන සහනයක්ද?"  

"බුදු හිමියන් පෙන්වා දුන්න නිවන් මඟ වඩන්නත් නිරෝගීව ඉන්න එපැයි!  නිවන් දකිනවා කියලා බේත් නොකර ඉන්න බෑනේ!  බුදු හාමුදුරුවොත් බෙහෙත් කරගත්තා අනෙක් අයට බෙහෙත් කරගන්න ක්‍රමත් කියලා දුන්නා... ඔය විදියට බෙහෙත් කරගන්න එපා කියනවා නම් එයා බුදු බණ දන්න කෙනෙක් නෙවේ..."

"මේ ගන්නා බෙහෙත් ටික සුවසේ නිවන් මාර්ගය පූර්ණය කරගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා තමයි මම මේ කැපවීම කරන්නේ... ඒකේ වරදක් නෑනේ!... එයා දන්නවද මම කොහොම හිතලද මේ බෙහෙත් බොන්නේ කියලා...!"

"ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීබවම උතුම් ලාභයයි" කියලා බුදු හිමියන්ගේ ධර්මය තුලම තියෙනවානේ.  ඒවා දන්නේ නැතිව තමයි ඔය කියවන්නේ..."

මේ ආකාරයට ඉතින් ලියනවා නම් පිටු දහස් ගණනක වුණත් ලියන්න තරම් මට දොස් අහගන්න වේවි.  තමන්ගේ නීරෝගීබව පිණිස කරන වැඩකටයුතු සාධාරණීකරණය කරගැනීමට දක්වන්නාවූ හේතු බොහෝමයක් තියේවි!  එහෙම නේද? ඉතින් එකින් එක ලියනවාට වඩා, මේ වෙලාවේ ඔබගේ හිතට පැමිණියාවූ එවැනි දෝසයක් වේ නම්, තමන්ගේ රෝගය වෙනුවෙන් කැපවීම සිටින වැඩපිළිවෙල සාධාරණීකරණය කරගැනීමට ඔබට සිහිපත් වන යම් හේතුවක් වේ නම්, එය මේ ලැයිස්තුවේ නැතිනම්, එයත් මෙයට එකතු කරගන්න!   

"හපොයි, මේක මහ වැඩකට නැති සටහනක්... තියෙන ලෙඩ මදිවට මේ බොරු කියවලා මගේ ඔළුවත් අවුල් වෙනවා."  එහෙමත් හිතෙනවද? 

එහෙනම් "හෝව්!! හෝව්!!! පොඩ්ඩක් ඉවසන්න..." ඔළුව අවුල් වෙයිද නොයෙක් ආකාරයේ රෝගාබාධයන් නිසාවෙන් අවුල් වෙලා තියෙන ඔළුව, ඒ අවුලෙන් නිදහස් කරගන්න ක්‍රමයක් පෑදෙයිද කියලා සටහන අවසානයේ තීරණයකට පත්වෙන්න.  එය තමයි නැණවත් බව!  එය තමයි ඔබගේ වීරවන්තකම!