නීරෝගීබවම උතුම් ලාභයයි

  18 නොවැම්බර් 2015

අප බොහෝ දෙනෙක් මෙතෙක් කාලයක් තිස්සේ;

"ආරෝග්‍යා පරමා ලාභා - නිබ්බානං පරමං සුඛං, අට්ඨංගිකො ච මග්ගානං - ඛෙමං අමතගාමිනං"

යන ගාථාව පවසනවා.  බුදු දහම දන්නා නොදන්නා බොහෝ දෙනෙක් පවා මෙවන් වූ කියමනක් බුදු හිමියන් පවා පවසා තිබෙන බව හෝ දන්නවා. 

එම ගාථාවට අර්ථ වශයෙන්;

"නීරෝගීකම උතුම් ලාභයක්ය - නිවන පරම සුවයක්ය, නිවනට යන මාර්ගයන් අතරිනුත් - ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ක්ෂේම වේ"

ලෙසින් අර්ථය ලබාදෙනවා.  බුදු හිමියන් පැවසූවා යැයි පවසමින්, කායික නිරෝගීබවේ උතුම් බව මේ ගාථාව තුලින් අදහස් කර ඇති බව පවසමින්, ඒ දේ ලැබගැනීම පිණිස වෙහෙස වෙනවා... කැප වෙනවා... කාලය වැය කරනවා. 

"නීරෝගීකම ලබා පරම සුවය වූ නිවන වෙත කටයුතු කරගත යුතුය" යන අදහස ඇතිවම "නිවන් දකින්නටත් නීරෝගීව සිටිය යුතුයැයි" පවසමින් පෙරත් විස්තර කරගත්තාවූ පරිදි අධික වෙහෙසකර වැඩපිළිවෙලක යෙදී සිටිනවා. 

මේ වන විට පිරිසිදු ධර්මය යැයි බොහෝ විට අසන්නට ලැබෙන්නේද එවන් වූ අර්ථයකින්ම යුතු සරළ කරුණු කාරණා නිසාම සත්ධර්මය තුලින් සුවපත්භාවය ලැබගැනීමද මඟ හැරී තිබෙනවා. 

අන්න ඒ නිසාම, විවිධාකාර කායික රෝගීතත්වයන්ගෙන් මේ වන විට පෙලෙන ඔබ, නිවැරදි බුදු වදන විමසා දැනගැනීම ඔබට යහපත් ඵල ලබාගැනීමට උපකාරයක්ම වේවි. 

අන්න ඒ නිසාම, මේ වන විට කායික රෝගීතත්වයන් නැතිව සුවපත්භාවයෙන් යුතු යැයි සිතාගෙන සිටින ඔබටද, සැබැවින්ම ඔබ නීරෝගීදැයි විමසා දැනගැනීමට නිවැරදි බුදු වදන යහපතක්ම ගෙන දේවි.

කායික නීරෝගීභාවය පිණිස ලෙඩ සුවපත් කරගැනීම පිණිස ඕනෑම ආගමක් දහමක් මතයක් දරන්නාවූ වෛද්‍යවරයන් කිසිදු පැකිලීමකින් යුතුව හමුවන

ඔබට...   ආගම් ජාති කුල මල තත්ව තානාන්තර භේදයකින් තොරව අනුමත කරන බෙහෙත් ඖෂධ ආදිය ලබාගන්නා ඔබට... මේ සටහන බුදු දහමට සම්බන්ධ සටහනක්යැයි ප්‍රතික්ෂේප කරන්නට තරම් සිතක් පහල වේ නම් එය ඔබගේ සිත විසින් ඔබවම රැවටීමක් නොවේද? 

ඒ නිසා මේ සටහන නුවණින් විමසන්නේ නැතිව ප්‍රතික්ෂේප කරදමන්නට තරම් ප්‍රබල කාරණයක් නුවණැති ඔබට සොයාගන්නට නොහැකි වේවි යැයි මා විශ්වාස කරනවා!