නීරෝගීබවට කොතරම් කැපවෙනවද?

  18 නොවැම්බර් 2015

කොතරම් දිව්වත් ඔබට ඔබේ රෝගබාධයෙන් මිදීමක් නැති බව ඔබට දැනගන්නට ලැබෙනවා.  ඔබ දැන් මියයන්නට ලඟ බව දැනගන්නට ලැබෙනවා.  ඔබේ රෝගය උත්සන්න වී ඇති බව දැනගන්නට ලැබෙනවා. 

එවන් වූ මොහොතක ප්‍රවීණ වෛද්‍යවරයෙක් ඔබට පවසනවා "හරි මම මේ දරුණු රෝගාබාධය සුවකරදෙන්නම්... හැබැයි ඔබ ඔය කාර්යබහුල වැඩපිළිවෙලින් මාසයකට පමණ ඉවත් වෙලා වනගත වෙලා මම කියන ගස් වල පොතු වර්ග මල් වර්ග ඵල ආදිය කමින් මම කියන ආකාරයෙන් ජීවත් වෙන්නට ඔබට සිද්ධ වෙනවා... කැමති නම් මට පුළුවන් අනිවාර්යෙන්ම ඔබව සුව කරන්නට..."  මෙවැනි සහනදායී පිළිතුරක් ලැබුණු විට ඔබ ඒ පිළියමට කැමති වෙන්නේ නැතිද? 

රැකියාවෙන් නිවාඩුවක් හෝ ගෙන මේ අනුමත කල තත්වයට මුහුණ දෙන්නට සූදානම් වෙන්නේ නැතිද?  දරුවන්ගේ, දෙමව්පියන්ගේ, මුණුබුරු මිණිබිරියන්ගේ, සහකාර කාරියන්ගේ, වැඩකටයුතු හෝ වේවා වෙනත් ඕනෑම වැඩකටයුත්තක් හෝ නවතා දමා මේ ප්‍රතිකර්මය කරගන්නට අවශ්‍ය කරන පසුතලය  ලබාගැනීම පිණිස ඔබ විසින් යම් යම් උපක්‍රම සහිතවූ පිළියම් යොදාගන්නේ නැතිද?

ඇයි සමහර වෙලාවට ඔබට දරුණු රෝගයකදී, මාස ගණන් වෙද ගෙවල් වල එහෙම නතර වෙලා ඉන්නවා නේද? වෛද්‍යවරයා කියන්නාවූ කෑම වට්ටෝරුව කොතරම් නීරස වුවත් අපහසුවෙන් වුවත් කනවා නේද? 

නිවාඩු දමාගෙන පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙලා වෛද්‍යවරුන් හමුවෙලා වෛද්‍ය සායන වලට සම්බන්ධ වෙල, පැය ගණන් නොකා නොබී තමන්ගේ ලේ වල තත්වය දැනගන්නට ඕන නිසා බොහෝම වීර්යයකින් යුතුව කටයුතු යොදනවා නේද? 

වෙදකම් කරන තැන් වලට මහා පාන්දර ගිහින් නිදිවරාගෙන බංකු ලෑල්ලක් මත හෝ හිඳගෙන අඟුපිලක හෝ ලැගගෙන පෝලිමේ ඉන්නවා නේද? කොතරම් මුදල් ප්‍රමාණයක් වුවත් වියදම් කරනවා නේද?  කොතරම් අපහසු වුවත් කාලය කෙසේ හෝ සොයාගෙන ව්‍යායාම් ආදිය කරනවා නේද?

කොතරම් අපහසු වුවත් යාන වාහන සපයාගෙන හෝ වේවා පොදු වාහන සේවයේ හෝ ගමන් කරනවා නේද?  වෛද්‍යවරයන් කියන දේ ඇස් පියාගෙන වුවත් විශ්වාස කරන තරමේ විශ්වාසයක් ඔවුන් කෙරෙහි ඇදහීමක් ඔබට තියෙනවා නේද?  තණ කොළ වර්ගයක් වුවත් තමන්ගේ රෝගය සුවවෙනවා කිව්වොත් ආහාරයට ගන්නා තරමටම ඔබ අසරණ වෙනවා නේද?