ඔබගේ කැමැත්ත ඔබම විමසන්න

  18 නොවැම්බර් 2015

සඳහටම මරණයෙන් මිදෙන්නට ක්‍රමයක් තියෙනවා... සඳහටම සියලුම ආකාරයේ රෝගයන්ගෙන් මිදෙන්නට මේ ජීවිත කාලයේදීම කරන්නට හැකි දෙයක් තියෙනවා... ඒ වෙනුවෙන් ඔබට සතපහකවත් තරම්වත් වියදමක් දරන්නට ඕන වෙන්නේ නෑ... ඒ වෙනුවෙන් ඔබට නීරස ආහාර වර්ග කන්නටවත් අනවශ්‍ය දිවීම් කරන්නටවත් අවශ්‍ය වන්නේ නෑ...  අවශ්‍ය වන්නේ ප්‍රඥාවන්තව සිතන්නට නුවණ දියුණු කරගන්නටයි.   සිත රැකගන්නටයි... සිත තේරුම් ගන්නටයි.  සිත සුවපත් කරගන්නටයි.  එවිට ඔබට මරණයෙන් මිදීමක් ලැබෙනවා.  මේ ජීවිත කාලය තුලදීම නීරෝගීබව අත්දැකගන්නට සුවපත්භාවය ලබාගැනීමට හැකියාවක් ලැබෙනවා. 

ඒ වෙනුවෙන් මූලික වශයෙන් අවශ්‍ය කරන්නේ, ඔබ විසින් සම්මා සම්බුදු පියාණන්වහන්සේ පෙන්වා දුන්නාවූ නිවැරදි සත්ධර්මය ශ්‍රවණය කරන්නට මොහොතක් කාලය වැය කරන්නට පමණයි.  නිවැරදි ශ්‍රවණය තුලින් ඒ කියූ දේහි අදහස අවබෝධ කරගැනීමට නුවණ මෙහෙයවීම පමණයි. 

ඔන්න ඔබට මේ ආකාරයේ ස්ථිර විසඳුමක් නීරෝගීබවක් සුවපත්බවක් ලබාදෙන්නට හැකි බවට බුදු දහමේ හිමිනමක් හෝ බුදු දහම ඇසුරු කරන එය අවබෝධයෙන් යුතුව කටයුතු කරන පුද්ගලයෙක් ඔබට පවසනවා.  ඔබගේ ප්‍රතිචාරය කුමක් වේවිද?

"පිස්සුද?  ඕවා මට විශ්වාස නෑ... ආ මම බුද්ධාගමේ නෙවේනේ... මට ඕවාට වෙලා නෑ... කව්ද දන්නේ ඕවා හරිද කියලා... ඔය බණ ඇහුවට ලෙඩ හොඳ වෙනවද?  බුදු හාමුදුරුවෝ දැන් ඇත්තෙත් නෑනේ... ඕවා සුරංගනා කථා..." මෙන්න මේ වගේ කොතරම් නම් අදහස් ඔබට පහල වේවිද?  ඔබගෙන්ම අහලා බලන්න... ඔබෙන් කී දෙනෙක් මේ සටහන කියවන්නටවත් කාලය යොමු කරයිදැයි සැක සහිතයි. 

දැන් ටිකක් හිතන්න ඔබට ඒ ආකාරයෙන් ස්ථිර විසඳුමක් ලබා දෙන්නට හැකි යැයි පැවසූ හිමි නම හෝ වේවා ගිහි පරිසරයේ සිටින පුද්ගලයා හෝ වේවා ඔබගේ විවිධාකාර කායික ආබාධයන් සුවපත් කරගන්නට බෙහෙත් ලබා දෙනවා යැයි පැවසුවහොත්???

සිත සුවපත් කරගෙන සදාකාලික නිරෝගීබව ලැබගැනීමට සිතක්වත් පහල නොවන ඔබට... ඒ වෙනුවෙන් කාලය සපයාගන්නට ඉතාමත් අපහසු ඔබට... ඒ වෙනුවෙන් කැපවෙන්නට අලසකමක් දැනෙන ඔබට... අනේ, ඒ හිමිනමම හෝ ඒ පුද්ගලයා හෝ ඔබගේ නොයෙක් නොයෙක් රෝගී තත්වයන් සුවපත් කරගැනීමට බෙහෙත් කරනවා කිව්වොත්?  බෙහෙත් කරගන්නා මාර්ගයක් පාදා දෙනවා කිව්වොත්?  භාවනා බලයෙන් ඔබව සුවපත් කරනවා කිව්වොත්???

ඔව්, මට ඔබගේ පිළිතුර අනවශ්‍යයයි!  ඔබ පිළිතුරු ඔබටම ලබාදෙන්න!  ඔබේ පිළිතුර මා අත්දැක තිබෙනවා... එවිට ඔබගේ කැපවීම මා දැක තිබෙනවා... එවිට ආගමක් දහමක් ජාතියක් කුලයක් තත්ව තානාන්තර භේදයක් නැතිව නැවතත් කායික නීරෝගීකම ලැබගැනීමට හැල්මේ දුවන ඔබගේ හැසිරීම, ප්‍රතිචාරය මා දැක තිබෙනවා.