අනුවණකමක තරම

  18 නොවැම්බර් 2015

මේ ලෝකයේ ඇතැම් පුද්ගලයෝ මහළු වන ස්වභාවය දරාගෙනමයි ඉන්නේ.  මහළු බවට අකමැතියි... ඒත් මහළු බවට පත්වන වැඩපිලිවෙලම තමයි කියන්නේ කරන්නේ සිතන්නේ. 

රෝගීවන ස්වභාවය උරුම කරගෙන සිටින මිනිසුන් රෝගීවන්නට කොතරම් අකමැති වුවත් සිත කය වචනය තුලින් කරගෙන යන්නේම නැවත නැවත රෝගීවන්නට සිදුවන වැඩපිලිවෙලමයි. 

මරණයත් එසේමයි.  මරණය එපෝ එපෝ කියමින් මරණයට බිය වෙමින් කියන්නේ කරන්නේ සිතන්නේම නැවත නැවත මරණය උරුම වන වැඩපිලිවෙලමයි. 

ඔබ කොතරම් අනුවණ අසරණභාවයක් පෙලනවාදැයි ඔබට දැන්වත් වැටහෙනවාද? 

ගින්දරට අත දමමින් "අනේ මාව පිච්චෙන්නට එපා" යැයි කිව්වාට පලක් වේද?

මහා ආගාධයකින් පහල පනිමින් "අනේ මට අනතුරක් නොවේවා" යැයි කිව්වාට පලක් වේද?

විදුලිය ගමන් කරන රැහැනක් කයේ දවටාගෙන එය කඩතොළු කරමින් "අනේ මට විදුලියෙන් අනතුරක් නොවේවා" යැයි පැතුවාට පැතුමෙන් පලක් වේද?

අන්න ඒ නිසා ඔබ ඔබගැනම විමසා තීරණයක් ගත යුතුයි.  කායික රෝගීබවට පිලියම් යොදාගන්නට යොදන කාලයෙන් අඩක් හෝ වේවා කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයට සත්ධර්මය ශ්‍රවණයට යොදාගැනීම තුලින් ඔබ ඔබටම නියම බේත ලබා දෙනවා.