ජීවිත මත

  18 නොවැම්බර් 2015

ඔබට තිබෙන ආයුෂ කාලය ඔබ යොදාගන්නේ කුමන ආකාරයේ වැඩපිලිවෙලකටද?  සිහිපත් කරගන්න...

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදියට හා වෙමින්... ඒවායේ ඇලෙමින් බැඳෙමින්... ඒවා නිසා කම්පනය වෙමින්... ඇස, කණ, දිව, නාසය, කය පිනවන ආශ්වාද ලබන්නට පොර කන... ආශ්වාද නොලැබූ කල ද්වේශයෙන් ගැටීමෙන් කටයුතු කරන... "මමත්වය" මුල්කරගත්තාවූ මත්වන වැඩපිලිවෙලටද? 

"මේ වැඩපිලිවෙල තමයි කරන්නට සුදුසු..." "සාරවත්වූ වැඩපිලිවෙලක් මෙය" ලෙසින් ඔබ සිතන්නේ නැත්ද?

දැන් ඉතින් සමහර කෙනෙක් කියයි... "අනේ මේක වැඩක් නෑ කියලා අපි දන්නවා... ඒත් කරන්න වෙලා තියෙනවානේ... ඒ නිසා කරනවා කියලා..." 

ඉතින් කරන්න වෙලා තියෙන්නේ බාහිර වැඩපිලිවෙල මිසක් ඒ බාහිර වැඩපිලිවෙල තුලින් සිත කිලිටි කරගන්න වැඩපිලිවෙල නොවන බව ඔබ නුවණින් වටහාගත යුතුයි.  ඇලෙන්නේ බැඳෙන්නේ ගැටෙන්නේ නැතිවත් යුතුකම් ඉටු කරන්නට අපට හැකියි.    ඔබ වෙහෙස විය යුත්තේ අන්න ඒ තත්වය ලබාගැනීමටයි. 

ඔබගේ පැවැත්ම පිණිස තවත් පිරිසකට අයහපතක් ගෙන දෙන වැඩපිළිවෙලක් කිරීම කරන්නට වෙලා තියෙන දේවල් නෙවේනේ....

ඔබගේ පැවැත්ම පිණිස තැන තැන ඇලීම් බැඳීම් ඇතිකරගෙන තණ්හා වෙන්නට කරන්නට වෙලා තියෙන දේවල් නෙවේනේ....

ඔබගේ පැවැත්ම පිණිස ගැටෙන්නට තරහා ගන්නට ද්වේශයෙන් යුතුව සිටීම කරන්නට වෙලා තියෙන කටයුතු නෙවේනේ... 

තරුණ කාලයේදී යෞවන මදයෙන් මත් වෙලා... නීරෝගීව සිටින විට නීරෝගී මදයෙන් මත් වෙලා... ආයුෂ තිබෙන විට ජීවිත මදයෙන් මත්වෙලා කරන කියන සිතන වැඩපිලිවෙල දැන් හොඳින් සිහිපත් කරගන්න.