පළමුව තමන් අන්ධ බවින් මිදෙන්න!

  18 නොවැම්බර් 2015

යුතුකම් ඉටු කිරීම යනු තමන්ට අදාල කොටස නොපිරිහෙලා ඉටු කිරීම විනා තම තමන්ගේ මතය අනුන්ට බලහත්කාරයෙන් ලබාදීම නොවේ.  ධර්මය වුනත් එසේමයි. 

හොඳ දෙයක්නේ යැයි පවසමින් තමන් අවබෝධ කරගත්තාවූ ධර්මයක් වේ නම් එය බලහත්කාරයෙන් පවුලේ පිරිසට හෝ අන් අයට ලබා නොදිය යුතුයි.  අනතුරු ඇඟවීම නිසි ලෙසින් ප්‍රඥාවන්තව සිදු කොට කැමැත්තෙන් පැමිණෙන පිරිසට පමණක් විස්තර ඇතිව පහදා දිය යුතුයි.  අන්ධබවින් මිදෙන්නට උපකාර කල යුතුයි. 

ඒ සඳහා ඔබ අන්ධ බවින් මිදී සිටිය යුතුයි.  "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීකම උතුම් ලාභයයි" යනු කායික නීරෝගීබවයි ලෙසින් ධර්මය පටලවාගෙන සිටිනවා නම් ඔබ තවමත් විශ්වාසයෙන් භක්තියෙන් යුතුව සුදු වර්ණය පිළිගන්නා කෙනෙක් විනා අන්ධ බවින් මිදී ඇත්තෙක් නොවේ. 

මේ සටහන කියවා "ආරෝග්‍යා පරමා ලාභා - නීරෝගීකම උතුම් ලාභයයි" කියන්නේ කායික නීරොගී බව නෙවේ කියලා දැනගත්තා කියන්නෙත් අන්ධ බවින් මිදීමක් නොවේ.  එසේ පිළිගතහොත් නැවතත් ඔබ සුදු වර්ණය ශ්‍රද්ධාවෙන් භක්තියෙන් විමසුමකින් තොරව පිළිගත්තෙක් බවට පත්වෙනවා. 

මේ වගේ සටහන් තුලින් ඔබට මෙන්න මේකයි සැබෑ රෝගය... මෙන්න මේකයි සෑබෑ රෝග නිදානය... මෙන්න මේකයි ඔය රෝගයට බේත... මෙන්න මේකයි ඔය රෝගයට බෙහෙත් කරන්න ඕන ක්‍රමය... මෙන්න මෙයයි වෙදැදුරා... මෙන්න මේ විදියටයි බෙහෙත් වට්ටෝරුව ලබාගැනීම පිණිස වෙදැදුරා දැකගැනීම පිණිස අනුගමනය කල යුතු වැඩපිලිවෙල... ලෙසින් ඔබව දැනුවත් කරනවා පමණයි.